Wednesday, February 21, 2018

පැපොල රෝගයට දෙන ප්‍රතිශක්ති එන්නත කුඩා දරුවන්ට සුදුසුද?





2018.02.08 දින SL Community Health Forum ෆේස්බුක් සමුහය වෙත අසන්නෙක් යොමු කල පැනයක් සහ ඊට වෛද්‍යවරුන්ගෙන් ලැබුණු පිළිතුරු ඇසුරෙන් සැකසුණි.

ප්‍රශ්නය - පැපොල රෝගය සැදීම වැලක්වීමට දෙන එන්නතේ ප්‍රතිශක්තිය කොපමණ කල් පවතිනවාද? කුඩා දරුවකුට එම එන්නත දීමට සුදුසු කුමන වයසින් පසුවද? 


පිළිතුරු - 

පැපොල රෝගය වැළදෙන්නේ පැපොල වයිරසය නොහොත් Varicella Zoster නම් වයිරසය මගින්. මෙය තිබෙන්නේ එක ප්‍රභේදයක් (serotype) පමණයි. මෙය වැලක්වීමට දෙන ප්‍රතිශක්තිකරන එන්නත Varicella Vaccine නැත්නම් Chickenpox vaccine කියා හඳුන්වනවා. මෙම එන්නතේ කාර්යක්ෂමතාවය 90% ක් පමණ වෙනවා. මාස තුනක කාල පරතරයක් තබා එන්නත් දෙකක් ලබා ගැනීමෙන් ජිවිතකාලයටම වලංගු වන ප්‍රතිශක්තියක් ලබා ගන්න පුළුවන්. 

 කුඩා දරුවන්ට එන්නතට වඩා රෝගය  වැළඳීමෙන්ම සිරුරට ලැබෙන  ස්වභාවික ප්‍රතිශක්තිය ලබා දෙනවා නම් වඩා වටිනවා. කුඩා දරුවන්ට පැපොල රෝගය වැළඳුන විට වැඩිහිටි අයට මෙන් සමේ බිබිලි දමන්නේ නැහැ. දවස් තුනක් පමණ පවතින උණක් පමණයි මතුවන්නේ. 

එම නිසා නිවසේ පැපොල සෑදී නොමැති වැඩිහිටි අයෙක්, ප්‍රතිශක්තිය අඩු රෝගාබාධයකින් (උග්‍ර වකුගඩු රෝගය, ලියුකේමියා ලිම්පොමා වැනි පිළිකා ) පෙලෙන හෝ  ප්‍රතිශක්තිය බාල කරන ස්ටෙරොයිඩ් වැනි ඖෂධයක් භාවිතා කරන කෙනෙක්, හෝ ගර්භනී කෙනෙක් සිටින අවස්ථාවක හැර එම පවුලේ කුඩා දරුවන්ව පැපොල රෝගය ස්වාභාවිකවම වැළඳී ස්වාභාවිකවම ප්‍රතිශක්තිය ලබාදීම වඩා හොඳයි.  

ඉහත කි එන්නත  අවශ්‍ය අවස්ථාවකදී සාමාන්‍යයෙන් මාස 12 ට වඩා වයසින් වැඩි කුඩා දරුවන් හට මෙම එන්නත ලබා දිය හැකියි. මාස 12ට වඩා අඩු දරුවන්ට මවගෙන් අවශ්‍ය ප්‍රතිශක්තිය ලැබෙන නිසා ඒ කාල සමය තුල රැකවරණය ලැබෙනවා. 

පැපොල රෝගයට  ස්වභාවිකව ලැබෙන ප්‍රතිශක්තිය එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තියට වඩා සාර්ථක බව නැවත නැවතත් ඔප්පු කර තිබෙනවා. ඊට හේතුව වන්නේ සිරුර තුල ප්‍රතිශක්තියට අවශ්‍ය ප්‍රතිදේහ(antibodies) නිපදවීම සඳහා වැඩි ප්‍රතිදේහ ජනක (antigen) ස්වභාවික වයිරසය මගින් ලබාදෙන නිසයි. එන්නතෙන් ලබාදෙන්නේ ඊට වඩා අඩු ප්‍රතිදේහජනක ප්‍රමාණයක්. 

බටහිර සංස්කෘතියේ සිත්ගන්නා සුළු සම්ප්‍රදායක් තිබෙනවා යම් දරුවකුට  පැපොල  රෝගය වැළඳුන හොත් අවට සිටින  අනෙක් සියලුම දරුවන් එම නිවසට ගෙන්වා සාද පවත්වනවා. (chickenpox party) එවිට එම දරුවන්  වයිරසයට නිරාවරණය වී ස්වභාවික ප්‍රතිශක්තිය ලබා ගන්නවා. මේ හේතුවෙන් එම රටවල් වල 'වැඩිහිටි පැපොල රෝගීන් ' වැඩිය දකින්න නැහැ. නමුත් අපේ සමාජයේ කෙනෙක්ට පැපොල රෝගය වැළඳුන විට එම රෝගියාව වෙන් කර වයිරසය පැතිරීම නවත්වනවා. මේ නිසා කුඩා කල රෝගය වැළඳී ස්වභාවික ප්‍රතිශක්තිය ලබා ගන්නා පිරිස අඩුවෙනවා. වැඩිපුර වැඩිහිටි පැපොල රෝගීන් වාර්තා වෙනවා. වැඩිහිටි අයට පැපොල වැළඳුන විට රෝගයේ උග්‍ර අවස්ථා වන එන්කෙපලයිටිස් , නියුමොනයිටිස් වගේ දරුණු සංකුලතා වලට උනත් ලක්වෙන්න පුළුවන්. 


සම්පත් දායකත්වය - විශේෂඥ වෛද්‍ය ටෙරන්ස් රෝහන් චින්නයියා , විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත පෙරේරා, වෛද්‍ය රසාංගනී ප්‍රේමතිලක 

SL Community Health Forum ෆේස්බුක් සමුහයේ මෙම සාකච්ඡාව සඳහා පහත සබැඳියට යන්න

SL Community Health Forum


DISCLAIMER - මෙහි අඩංගු වන්නේ ෆේස්බුක් සමුහයක් තුල සාකච්ඡා වූ කරුණු ඇසුරෙන් සකස් කරන ලද සාරාංශයකි. රෝගියෙකුගේ ප්‍රශ්නයකදී එයට ගැලපෙන පිළිතුරු දීමට විවිධ පැතිකඩ වලින් එම ප්‍රශ්නය දෙස බැලිය යුතුය. එම නිසා ඔන්ලයින් අවකාශයේදී ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී යම් යම් ගැටළු සහිත තැන් මතුවිය හැක.  මෙම සමුහය තුල අප වෛද්‍යවරුන් උත්සාහ ගන්නේ සමස්ත ජනතාවටම ප්‍රයෝජනවත් වන ලෙස පිළිතුරු සැපයීමට ය . එම නිසා ඔබේ පුද්ගලික ගැටළු වලට විසඳුම් සෙවීමේදී මෙම උපදෙස් උපයෝගී කරගැනීමේදී සැමවිටම සැලකිලිමත් වන්න. හැකි හැමවිටම වෛද්‍ය වරයකු හමුවී සාකච්ඡා කර ඔබේ පුද්ගලික සෞඛ්‍ය ගැටලුවට විසඳුම් ලබා ගන්න.  









No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ