Saturday, February 17, 2018

එන්න ඇඩ්මිට් වෙමු(3) - හදිසි ඇතුලත් කිරීම්


වෛද්‍ය සඳුනි සුදර්ශනා පෙරේරා 





පසුගිය ලිපියෙන් කතාබහ කෙරුනේ පෙර සැලසුම් කළ ඇතුලත් කිරීම් ගැන. පෙර ලිපි සඳහා යොමුව පහතින් . 

අද සංවාදය එසේ පෙර සැලසුම් කිරීමක් නැතිව හදිසි අසනීප තත්වයක් නිසාවෙන සිදු කරන ඇතුලත් කිරීම් ගැන

මෙවන් හදිසි ඇතුලත් කිරීම්ද වර්ග කිහිපයකට අයත් විය හැකියි .

1.  නිවසේ දී,රැකියා ස්ථානයේදී හෝ මඟ තොටේදී හදිසියේ ඇතිවන අසනීප තත්වයක් හෝ තිබූ අසනීප තත්වයක් උත්සන්න වීම නිසා රෝහලට රැගෙන ඒමක්
2.  අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීමට රෝහල් බාහිර රෝගී අංශය වෙත හෝ පුද්ගලික වයිද්‍ය සේවාවක් වෙත යොමු වූ විට අසනීප තත්වය නේවාසික ව ප්‍රතිකාර කළ යුතු තත්වයක් බව වයිද්‍යවරුන් තීරණය කිරීමක්.
3.  දිගු කාලීන ව පවතින අසනීපයක් සඳහා සායනය වෙත පැමිනි අවස්ථාවක රෝගී තත්වයේ වෙනසක් නිසාවෙන් හදිසි ප්‍රතිකාර ඇරඹීමට අවශ්‍ය බව තීරණය වීමක්.
බොහෝ විට මෙවන් ඇතුලත් කිරීම් ප්‍රමාද කිරීම සුදුසු නැහැ.මක් නිසාද යත් ප්‍රතිකාර ඇරඹීමට ප්‍රමාද වීම ඉතා බලවත් සංකූලතාවයන් ඇති කිරීමට හේතු විය හැකි බැවින්.නමුත් බොහෝ අවස්ථාවලදී මෙවන් හදිසි ඇතුලත් කිරීම්වලට රෝගීන් කැමති කරවා ගැනීම සෑහෙන අපහසුයි.
බොහෝ දුරට ඊට හේතු වන්නේ
-රෝහලට පැමිනි බව නිවසේ සාමාජිකයන් නොදැන සිටීම
-කුඩා දරුවන් රෝගී මව සමග රෝහලට ගෙන ඒම
-කුඩා දරුවන් පාසලේ,පන්තියක හෝ නිවසේ තබා ඒම
-නිවසේ රෝගී හෝ වියපත් පුද්ගලයන්ට රැකවරණය සලසන වගකීම රෝගියා සතු වීම
-රෝගී තත්වයේ අවදානම පිලිගැනීමට ඇති අකමැත්ත
වැනි කාරණා යි.
බොහෝ විට වයිද්‍යවරුන් ඔබට එවේලේම රෝහල් ගත වීම නිර්දේශ කරන්නේ එය ඔබේ යහපැවැත්මට අත්‍යාවශ්‍යම නිසායි.
හදිසි අවස්ථා අප බොහෝ දෙනෙක් අපේක්ෂා නොකරන බව සැබෑයි.නමුත් හදිසි අවස්ථාවක දී අපහසුවට පත් නොවීමට රෝගී ඔබට යම් ක්‍රියාමාර්ග ගත හැකියි.
රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට නිවසෙන් නික්මෙද්දී නිවසේ එක් සාමාජිකයෙක් හෝ ඒ පිලිබඳ දැනුවත් කර පැමිණීම සුදුසු යි.හැකිනම් සැමවිටම තවත් වැඩිහිටි සාමාජිකයෙක් සමඟ පැමිනීමත් නුවනැති පියවරක් .
යම් හෙයකින් හදිසියේ රෝහල්ගත වීමට සිදු වෙතැයි යන අදහසත් සිතේ තබාගෙන යම් පෙර සූදානමක් සහිතව ප්‍රතිකාර සඳහා යොමු විය හැකි නම් ඉතාමත් යෝග්‍ය යි.
නිරෝගී කුඩා ළමුන් රෝගී ඔබ සමඟ රෝහලට රැගෙන නොඒම වඩාත් සුදුසු යි.එසේ කළ නොහැකිම අවස්ථාවක හදිසි ඇතුලත් වීමකට සිදු වුවහොත් දරුවා භාර දිය හැකි විශ්වාසවන්ත වැඩිහිටියෙකු කැටුව පැමිනීම සුදුසු යි.
හදිසි අවස්ථාවක දී බොහෝ විට රෝගියා තමන් පිලිබඳ නිසි තොරතුරු ලබා දීමට අපහසු තත්වයක සිටීම සුලබ සිදුවීමක්.
සිහිසුන් වීම, වේදනාවා,මත් ද්‍රව්‍ය භාවිතය ආදී හේතු නිසා නිවැරදි රෝග නිගමනය ඉතා අසීරු වීම සුලබයි .

එවන් අවස්ථාවක රෝගියා රැගෙන එන පිරිස රෝගියාගේ නිවැරදි තොරතුරු සැකෙවින් දන්වා සිටීම ඔහුට හෝ ඇයට අවශ්‍ය නිසි ප්‍රතිකාර සඳහා ඉක්මණින් යොමු වීමට උපකාර වෙනවා.
මීට අමතරව රෝගියා ගේ මින් පෙර ප්‍රතිකාර ගත් රෝග ඉතිහාසය ,ශල්‍යකර්ම හා ආසාත්මිකතා පිලිබඳ තොරතුරු ත් ඉතා වැදගත්.
මේ නිසා විශේශයෙන්ම වියපත් පුද්ගලයන් ,දිගු කාලීන රෝග සඳහා ප්‍රතිකාර ලබන පුද්ගලයන් භාරයේ ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ,භාරකරුවන් ගේ දුරකතන අංකයක්,ප්‍රතිකාර ගනු ලබන රෝග හා ඖෂධ වර්ග,අසාත්මිකතා ගැන ලිඛිත සටහනක් තිබීම ඉතා ප්‍රයෝජනවත් .
හදිසි ඇතුලත් වීම් විශේෂයෙන් ම රිය අනතුරු වැනි අවස්ථාවල එක් වරම කලින් නිරෝගී ව පුද්ගලයන් අනපේක්ෂිතව හදිසියේ රෝගී වීම සිදු වෙනවා.බොහෝ විට මෙවන් අවස්ථවලදී රෝගියාගේ පවුලේ නෑ හිතවතුන් බොහෝ දෙනෙක් රෝහලට එක් රොක් වීමත්,රෝගියා ඇතුලත් කළ වාට්ටුව ඇතුල් වීමට උත්සාහ කිරීමත් සිදු වෙනවා.මෙයින් බොහෝ විට රෝගියාට සිදු වන්නේ යහපතකට වඩා අයහපතක්.එවන් අවස්ථාවලදී රෝහලේ සාමාන්‍ය කටයුතුවලට බාධා සිදුවීම,බාහිර පිරිස් හා රෝහල් කාර්‍ය මණ්ඩලය අතර ඝට්ටනයක් ඇති වීම පවා සිදු විය හැකියි .
එනිසා හදිසි ඇතුලත් කිරීමක දී එවන් රෝහලේ එදිනෙදා කටයුතුවලට බාධා වෙන හැසිරීමෙන් වැලකීම සියලු රෝගන් වෙනුවෙන් ඔබ විසින් ඉටු කළ යුතු යුතුකමක්.

සුපුරුදු පරිදි මේ ගැන ඔබට මතුවෙන ගැටලු අප වෙත යොමු කරන්න.
ඔබට නිරෝගී සුභ දවසක්!

(SL Community Health Forum හි වෛද්‍ය සඳුනි සුදර්ශනා පෙරේරා පලකල ලිපියක් ඇසුරෙන් සැකසුණි)

SL Community Health Forum ෆේස්බුක් සමුහය වෙත පිවිසීමට පහත සබැඳියට යන්න

No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ